යුරෝපා සංගමයේ අවම ප්‍රතිචක්‍රීකරණ අනුපාතයක් සහිත රටක් වන පෘතුගාලය, සිය ප්ලාස්ටික් සහ කෑන් අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සඳහා අද (අප්‍රේල් 10) සිට නව තැන්පතු ක්‍රමයක් (Deposit Scheme) ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. 2024 වසරේ දත්තවලට අනුව පෘතුගාලයේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිත කිරීමේ අනුපාතය පවතින්නේ 3% ක වැනි ඉතා අඩු මට්ටමක වන අතර, මෙම නව වැඩපිළිවෙළ හරහා එම තත්ත්වය වෙනස් කිරීම රජයේ අරමුණයි.
අද සිට පෘතුගාලයේ සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගන්නා සෑම බෝතලයක් හෝ කෑන් එකක් සඳහාම නිෂ්පාදනයේ මිලට අමතරව ශත 10 ක (10 cents) තැන්පතු ගාස්තුවක් අය කරනු ලැබේ. මෙම ගාස්තුව පාරිභෝගිකයාට ලැබෙන බිල්පතේ වෙනම සඳහන් වන අතර, එය ප්ලාස්ටික් බෑග් සඳහා අය කරන ගාස්තුවට සමාන වුවද මෙහි ඇති විශේෂත්වය වන්නේ එම මුදල යළි ලබා ගැනීමට ඇති හැකියාවයි.
පාරිභෝගිකයා විසින් හිස් කරන ලද බෝතල් හෝ කෑන් නැවත වෙළෙඳසල වෙත ලබා දෙන විට, තමන් ගෙවන ලද ශත 10 ක තැන්පතු මුදල යළි ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වේ. මෙමඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම වෙනුවට ඒවා ක්‍රමවත්ව ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීමට මහජනතාව උනන්දු කරවීම අපේක්ෂා කෙරේ.
යුරෝපා සංගමය විසින් ලබා දී ඇති ප්‍රතිචක්‍රීකරණ ඉලක්ක සපුරා ගැනීමට පෘතුගාලය මේ වන විට දැඩි උත්සාහයක නිරත වේ. මෙම නව “පියවා ගැනීමේ තැන්පතු ක්‍රමය” (Refundable Deposit Scheme) සාර්ථක වුවහොත්, ඉදිරි වසර කිහිපය තුළ පෘතුගාලයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීමට හැකි වනු ඇතැයි පරිසරවේදීහු විශ්වාසය පළ කරති.














