දැඩි මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (අප්‍රේල් 10) දැනුම් දුන්නේය.
පශ්චාත් නේවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන් වන මිතුම් දිසානායක සහ නිම්සර මෙන්ඩිස් යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කර තිබුණි. එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ අද දින මෙම කරුණු සලකා බැලීම සිදු විය.
මෙම පත්වීම් ලැයිස්තුව මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරතව සිටින අතර, අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් මෙම පත්වීම් සම්බන්ධ නීතිමය තත්ත්වය අවිනිශ්චිතව පවතිනු ඇත.














