ශ්‍රී ලංකා තැපැල් සේවාව නවීකරණය කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබාදීමේ අරමුණින් රුපියල් මිලියන 590කට අධික වටිනාකමකින් යුත් නව වාහන තොගයක් තැපැල් ප්‍රවාහන ජාලයට එක් කිරීම අද (12) පස්වරුවේ සිදු විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේදී පැවැති මෙම උත්සවයේදී නව ලොරි රථ 10ක් සහ කෲ කැබ් රථ 20ක් තැපැල් දෙපාර්තමේන්තුවට නිල වශයෙන් භාර දෙන ලදී.
වාහනවලට අමතරව, තැපැල් සේවාව ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් සහ ටැබ් යන්ත්‍ර බෙදාදීම මෙන්ම තැපැල්කරුවන්ගේ යතුරුපැදි සඳහා නව බහාලුම් පෙට්ටි (Bicycle Carriers) ලබාදීම ද මෙහිදී සිදු විය. මුළු ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 849ක් වෙන් කර ඇති අතර, තැපැල් මූලස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක සූර්ය පැනල සවි කිරීම ද මීට ඇතුළත් වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය වසරේ තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 13,450ක ආදායමක් උපයා ඇති බවයි. එසේම තැපැල් සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට පියවර ගනිමින් සිටින බවත්, අලුතින් බඳවා ගැනීම් සහ ස්ථීර කිරීම් හරහා සේවකයින් 2,800කගේ රැකියා සුරක්ෂිත වන බවත් ඔහු අවධාරණය කළේය. තැපෑල වැසීමට කිසිදු පියවරක් නොගන්නා බවත්, මෙවැනි නව පහසුකම් ලබා දෙමින් තැපෑලේ අනාගතය දියුණු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














