ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියාගෝ හි පෝවේ (Poway) ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක් අසල ඊයේ (බ්‍රහස්පතින්දා) දරුණු ගින්නක් හටගෙන තිබේ. ගින්නෙහි ප්‍රබලත්වය කොතෙක්ද යත්, සැතපුම් තුනකට වඩා ඈතින් පිහිටි සේබර් ස්ප්‍රින්ග්ස් (Sabre Springs) ප්‍රදේශයට පවා අහසට නැඟෙන කළු දුමාරය පැහැදිලිව දර්ශනය වූ බව වාර්තා වේ.
ප්‍රදේශවාසීන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝ දර්ශනවලින් පෙනී යන්නේ ප්‍රොපේන් ටැංකියක් (Propane Tank) පුපුරා යාමෙන් මෙම ගින්න හටගන්නට ඇති බවයි. ගින්න හටගත් ස්ථානය ආසන්නයේ වැඩිහිටි නිවාසයක් පිහිටා තිබීම හේතුවෙන් තත්ත්වය බරපතළ වූ අතර, සහන සේවා කණ්ඩායම් ගුවන් මඟින් ජලය හෙළමින් ගින්න පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වූහ.
ගින්න හේතුවෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති වුවද, අවට පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ. ගිනි නිවන භටයින් සහ ගුවන් යානා යොදවා ගින්න තවදුරටත් පැතිර යාම පාලනය කිරීමට පියවර ගෙන ඇත.














