ගම්පොළ – නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල, නාගොල්ල ප්‍රදේශයේදී සිදු වූ දරුණු රිය අනතුරකින් තුන් හැවිරිදි දියණියක මියගොස්, ඇගේ මව සහ සහෝදරයා බරපතළ තුවාල ලබා තිබේ. අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගම්පොළ, උනම්බුව ප්‍රදේශයේ පදිංචිව සිටි අභීෂා නිෂාරා කෙනුලි කුලතුංග (අවු. 03) නැමති දැරියකි. ඇය නාවලපිටිය පොලිස් ස්ථානාධිපති නිස්සංක නන්දන කුලතුංග මහතාගේ දියණියයි.
සිය පෙර පාසල් ගුරුවරියගේ උපන් දින සැමරුමකට සහභාගී වීම සඳහා මව සහ හත් හැවිරිදි සහෝදරයා සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. නාගොල්ල ප්‍රදේශයේදී නතර කර තිබූ බස් රථයක් ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක යතුරුපැදිය ගැටී ඇති අතර, පසුව ගම්පොළ රෝහලේදී ශල්‍යකර්මයකට භාජනය කරමින් සිටියදී දැරිය මියගොස් තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියේ ඉදිරියෙන් ගමන් කළ දැරියගේ පපු ප්‍රදේශය සහ උදරය ගැටීමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනය මරණයට හේතුව වී ඇති බවයි. තුවාල ලැබූ මව සහ පුතු තවදුරටත් ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ 82 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (23) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඇත්ගාල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














