මැදපෙරදිග කලාපය දැඩි යුද අර්බුදයකට යොමු කරමින් ඉරානයට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඇමරිකාව සහ ඊශ්‍රායලය සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් එරට ස්වදේශීය පෙරමුණේ අණදෙන නිලධාරියාට දැනුම් දී ඇත්තේ ඉරානය සමඟ යුද්ධයකට සූදානම් වන ලෙසයි. ඒ අනුව ඊශ්‍රායල ආරක්ෂක අංශ හරහා මේ වන විට එරට තුළ ඉහළම අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රධානීහු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. එහි සඳහන් වන්නේ එළඹෙන සති අන්තය වන විට ඇමරිකානු හමුදා ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට වැඩි ඉඩක් පවතින බවයි. මෙම ප්‍රහාරාත්මක සැලසුම් පිළිබඳව ධවල මන්දිරය සහ පෙන්ටගනය මේ වන විටත් අඛණ්ඩව සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.
කලාපීය ආරක්ෂාව පිළිබඳ දැඩි තීරණාත්මක අවස්ථාවක පවතින මෙම සූදානම හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමේ සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා බාධා පැමිණීමේ අවදානමක් ද මතු වී තිබේ. ඉරානය ද පවසා ඇත්තේ තමන් වෙත එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දීමට සූදානම් බවයි.














