ඉරානයට එරෙහිව එළඹෙන සති අන්තය වන විට හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට ඇමෙරිකානු ආරක්ෂක අංශ පූර්ණ සූදානමකින් පසුවන බව වාර්තා වේ. කෙසේ වෙතත්, එවැනි ප්‍රහාරයක් සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් සිය අවසන් අනුමැතිය ලබා දී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගිය දින කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු ගුවන් හා නාවික බලඇණි විශාල වශයෙන් ශක්තිමත් කර ඇති අතර, ‘යූ.එස්.එස්. ජෙරල්ඩ් ෆෝඩ්’ (USS Gerald Ford) යුද නෞකා සමූහය ද මෙම සති අන්තය වන විට කලාපයට ළඟා වීමට නියමිතය.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට මුල්තැන දුන්න ද, හමුදාමය ක්‍රියාමාර්ගයක අවස්ථාව බැහැර කර නොමැති බවයි. මේ අතර, ඇමෙරිකානු හමුදාමය බලපෑම් හමුවේ ඉරානය ද සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඒවා භූගත කිරීමට පියවර ගෙන ඇති බව චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණය වී තිබේ. එළඹෙන ඉරිදා නිමාවන ශීත ඍතු ඔලිම්පික් උළෙල සහ රාමසාන් සමය වැනි කරුණු ද ප්‍රහාරයක් දියත් කිරීමේදී ඇමෙරිකාවේ අවධානයට යොමුව ඇති අතර, මෙම නොපැහැදිලි තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග කලාපය තුළ දැඩි යුද භීතියක් නිර්මාණය වී ඇත.














