වයස අවුරුදු 3ත් 5ත් අතර කුඩා දරුවන්ට Zoom හෝ වෙනත් මාර්ගගත (Online) ක්‍රමවේද හරහා ඉගැන්වීම අධ්‍යාපන මනෝවිද්‍යාවට සහ ළමා සංවර්ධන මූලධර්මවලට පටහැනි බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ පූර්ව ළමාවිය සංවර්ධන අවධියේ පසුවන දරුවන් ඉගෙන ගත යුත්තේ සමාජ අන්තර්ක්‍රියා පවතින, ක්‍රියාකාරකම් මත පදනම් වූ පරිසරයක බවයි.
කුඩා දරුවන් දීර්ඝ වේලාවක් තිර (Screen) දෙස බලා සිටීමෙන් ඔවුන්ගේ සමාජීය කුසලතා වර්ධනය අඩාල වීම, අවධානය රඳවා ගැනීමේ හැකියාව අඩුවීම සහ නිර්මාණාත්මක චින්තනයට බාධා පැමිණීම සිදුවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. එසේම, අධික ලෙස ඩිජිටල් උපකරණවලට නිරාවරණය වීමෙන් දරුවන්ගේ පෙනීම දුර්වල වීම සහ මොළයේ වර්ධනයට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවටද එහි අනතුරු අඟවා ඇත. වාණිජමය පරමාර්ථයෙන් පවත්වනු ලබන මෙවැනි මාර්ගගත සම්මන්ත්‍රණවලට දරුවන් සහභාගී කරවීමෙන් වළකින ලෙසත්, දරුවකුගේ හොඳම ගුරුවරයා වන්නේ ඩිජිටල් තිරයක් නොව සැබෑ ලෝකයේ අත්දැකීම් බවත් අමාත්‍යාංශය දෙමාපියන්ට මතක් කර දෙයි.














