මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම, ගෑස් සැපයුම සහ උද්ධමනය පාලනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු වූ අතර, පවතින අභියෝග සාමුහිකව ජය ගැනීමට සියලු අංශ ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම සූවස් ඇළ සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන නාවික මාර්ග වසා දැමුවහොත් කොළඹ වරායට ඇති විය හැකි බලපෑම සහ එමඟින් අපනයන ක්ෂේත්‍රයට සිදුවන හානිය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී නිලධාරීන් දැනුවත් කරන ලදී. දැනට ප්‍රමාණවත් ආහාර සහ ඉන්ධන සංචිත පවතින බවත්, ගෑස් ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට කෙටිකාලීන උපායමාර්ග අනුගමනය කරන බවත් රජය පවසයි. තවද, මැදපෙරදිග ගුවන් සීමා වසා දැමීම නිසා සංචාරක කර්මාන්තයට වන බාධා මඟහරවා ගැනීමට විකල්ප ගුවන් ගමන් මාර්ග භාවිත කිරීම පිළිබඳව ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.














