ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කර නව සමාගම් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට කාර්යක්ෂම සේවාවක් සැපයීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා සහ ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (12) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව අවධාරණය කළේය.
මෙම ක්‍රියාවලිය හරහා පිහිටුවන නව සමාගම්වල අයිතිය රජය යටතේම පවත්වා ගන්නා බවත්, ලංවිම සේවකයන් භුක්ති විඳි සියලු අයිතිවාසිකම් නව සමාගම් තුළ ද තහවුරු කිරීමට රජය කැපවී සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය. මෙය දීර්ඝකාලීන සහ සංකීර්ණ ක්‍රියාවලියක් බැවින්, පරිවර්තනීය කාලසීමාව තුළ සේවකයන් සහ පාලනාධිකාරිය අතර මනා සංවාදයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ද ඔහු පෙන්වා දුන්නේය.
විදුලිබල මණ්ඩලය තුළ කාලයක් තිස්සේ නොවිසඳී පවතින ගැටලු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, සේවකයන්ගේ මානසික නිදහස සහ අනාගත අපේක්ෂා සුරක්ෂිත කරමින් තෘප්තිමත් සේවා පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපතිවරයා පැවසීය. මෙම නව වෙනස සඳහා සහාය පළ කළ වෘත්තීය සමිති නියෝජිතයන්, රජය සමඟ අවබෝධයෙන් කටයුතු කරමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට දායක වන බව ප්‍රකාශ කළහ.
මෙම සාකච්ඡාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරු ද සහභාගී වූහ.















