ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ සිදුවූ නාවික ආපදා හමුවේ රජය ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ. එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව කිසිදු පාර්ශවයකට පක්ෂපාතී නොවන බවත්, මනුෂ්‍යත්වය සහ ලෝක සාමය වෙනුවෙන් පමණක් පෙනී සිටින බවත්ය.
ඇමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරයකින් නෞකාවක් ගිලී යාමෙන් පසු ආපදාවට පත් නාවිකයන් 32 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළේය. ඉන් දිනක් ගතවීමටත් පෙර, තවත් නෞකාවක් සිය ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවේ සහය ඉල්ලා සිටි අතර, රජය ඒ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණ ගෙන ඇත.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය සහ මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් ගරු කරමින් ජනාධිපතිවරයා මෙම තීරණ ගෙන ඇති බව රජය පවසයි. ලෝක බලවතුන් අතර පවතින ගැටුමකදී ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් අනුගමනය කළ යුතු වඩාත් නිවැරදි සහ මධ්‍යස්ථ ප්‍රතිපත්තිය මෙය බව ජනාධිපතිවරයා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය.














