ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සහ ඊශ්‍රායලය අතර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුමේදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයකට සහය නොදක්වන අතර මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළිත් අවධාරණය කරයි. වත්මන් දේශීය හා ජාත්‍යන්තර තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.
මෙම ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ස්ථාවරය ජාත්‍යන්තරය හමුවේ දැනටමත් පැහැදිලිව ප්‍රකාශ කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මෙම යුදමය වාතාවරණය ලෝක බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන බැවින්, එමගින් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිරීක්ෂණ කමිටුවක් (Surveillance Committee) දැනටමත් පත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සැපයුම් දාමයන්ට එල්ල වන බාධා සහ මිල ඉහළ යාම් කළමනාකරණය කරමින්, මෙරට ආර්ථිකයට සහ මහජනතාවට සිදුවන පීඩනය අවම කිරීම රජයේ මූලික අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.














