ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිති නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (මාර්තු 12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.
පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට, කාර්යක්ෂම සහ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම මෙන්ම නව සමාගම්වල අයිතිය රජය යටතේම පවත්වා ගනිමින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට මෙතෙක් හිමිව තිබූ සියලු අයිතිවාසිකම් නව සමාගම් ව්‍යුහය තුළත් සුරක්ෂිත කරන බවට ජනාධිපතිවරයා සහතික විය.
මෙම පරිවර්තනීය කාලය තුළ සේවකයන් සහ නව සමාගම් අතර මනා අවබෝධයක් පවත්වා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා අවධාරණය කළ අතර සේවකයන්ට තෘප්තිමත් ලෙස සේවය කළ හැකි නිදහස් පරිසරයක් සකසා දීමට රජය කැපවී සිටින බව ද සඳහන් කළේය. මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ අනාගත අභියෝග ජය ගැනීමට එක්ව වැඩ කරන ලෙස ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගත් වෘත්තීය සමිති නියෝජිතයෝ, රජය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් මෙම ක්‍රියාවලියට දායක වන බව ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් යන මහත්වරු ද එක්ව සිටියහ.













