ඉන්දීය නාවික හමුදාව රටේ සමුද්‍රීය අවශ්‍යතා ආරක්ෂා කිරීමට නිරන්තරයෙන් අවදිව සිටින අතරම, ගෝලීය සමුද්‍රීය වාණිජ්‍යයේ ස්ථාවරත්වය සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බව ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදි මුර්මු මහත්මිය ප්‍රකාශ කළාය. බදාදා (18) විසාඛපට්නම් වෙරළට ඔබ්බෙන් වූ බෙංගාල බොක්ක මුහුදු තීරයේ ඉන්දීය නාවික හමුදා යුද නෞකාවක සිට ජාත්‍යන්තර නාවික දර්ශනය (International Fleet Review – IFR) මෙහෙයවමින් ඇය මේ බව සඳහන් කළාය.
මුහුදේ ඇති වන අභියෝග සහ තර්ජනයන්ට එරෙහිව විශ්වාසනීය ආරක්ෂක මෙවලමක් ලෙස ඉන්දීය නාවික හමුදාව කලාපය තුළ ක්‍රියාත්මක වන බව ජනාධිපතිනිය පෙන්වා දුන්නාය. ලොව පුරා අනෙකුත් නාවික හමුදාවන් සමඟ විශ්වාසය සහ මිත්‍රත්වය ගොඩනැගීමේ පාලමක් ලෙස ද ඉන්දීය නාවික හමුදාව කටයුතු කරන බව ඇය පැවසුවාය. විවිධ රටවල ධජයන් සහිත නෞකා සහ විදේශීය නාවිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය ජාතීන් අතර පවතින එක්සත්කම සහ සමුද්‍රීය සම්ප්‍රදායන්ට දක්වන ගෞරවය පිළිබිඹු කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
පෙබරවාරි 15 සිට 25 දක්වා පැවැත්වෙන මෙම දැවැන්ත නාවික අභ්‍යාසය සඳහා “Exercise MILAN” සහ ඉන්දීය සාගර නාවික සම්මන්ත්‍රණය (IONS) ද සමගාමීව පැවැත්වේ. ඉන්දීය ජනාධිපතිනිය ගමන් ගත් “INS Sumedha” නෞකාවේ ඇය සමඟ ආන්ද්‍ර ප්‍රදේශ් ආණ්ඩුකාර එස්. අබ්දුල් නසීර්, මහ ඇමති එන්. චන්ද්‍රබාබු නායිදු, නියෝජ්‍ය මහ ඇමති පවන් කල්‍යාණ සහ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇඩ්මිරල් දිනේෂ් කේ. ත්‍රිපති ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.














