වින්ච් යන්ත්‍ර (Winch machines) යොදාගනිමින් මාදැල් ඇදීමේ කර්මාන්තයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත ධීවරයින්ට අද (13) පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ සෘජු සාකච්ඡාවකට අවස්ථාව හිමිව තිබේ. ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර භාවිතය වත්මන් රජය විසින් තහනම් කිරීමට එරෙහිව පසුගිය පෙබරවාරි 5 වැනිදා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය අද වන විට 9 වැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක විය.
ධීවරයින් දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද පසුගිය රාත්‍රිය පුරා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි අතර, ඔවුන්ගේ සහයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ද එම ස්ථානයට පැමිණ සිටියේය. මීට පෙර බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා කිසිදු විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් ධීවරයින් මෙම විරෝධතාව අත්නොහැර පවත්වාගෙන ගිය අතර, අද දින පොලිසිය මැදිහත් වී ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට එකඟතාව ලබා දීමත් සමඟ ගැටලුවට සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි ධීවර ජනතාව බලාපොරොත්තුවෙන් පසුවෙති.














