හිටපු අගමැතිවරයෙකුට වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා 2012 සහ 2014 යන වර්ෂවලදී ජනාධිපති අරමුදලින් ලබා දී තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් මෙතෙක් නැවත අය කරගෙන නොමැති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි. ජනාධිපති අරමුදල පනතට අනුව පුද්ගලයින්ට ණය වශයෙන් මුදල් ලබාදීමට කිසිදු ප්‍රතිපාදනයක් සලසා නොතිබියදී, නීති විරෝධී ලෙස මෙම මුදල් නිකුත් කර තිබීම විශේෂත්වයකි.
මීට අමතරව, හිටපු ජනාධිපති ලේකම්වරයාගේ චක්‍රලේඛ සහ නිල ලිපි මත පදනම්ව හිටපු මන්ත්‍රීවරයෙකුට ලබා දී තිබූ රුපියල් කෝටියකට අධික මුදලක් ද පසුගිය වසරේ ජුනි මාසය වන විටත් අයකර ගැනීමට අරමුදල අපොහොසත් වී ඇත. මේ හරහා ජනාධිපති අරමුදලේ මූල්‍ය පාලනය සහ ණය අයකර ගැනීමේ ක්‍රියාවලියේ පවතින බරපතළ අඩුපාඩු නිරූපණය වන බව විචාරකයෝ පෙන්වා දෙති.
තවද, ජීවිත කාලය පුරා රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයින් එකොළොස් දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් රාජ්‍ය බැංකු කිහිපයක ආයෝජනය කර තිබුණද, එමගින් ලැබෙන ප්‍රතිලාභ රෝගීන්ට ප්‍රමාණවත් දැයි සොයා බලා අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අරමුදල කටයුතු කර නැත. රජයේ නවතම වාර්තාවකට අනුව, මෙම ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා නිසි ඇගයීමකට ලක් කර ඔවුන්ට සහනයක් සැලසීමට බලධාරීන් අපොහොසත් වී තිබේ.














