අනාගත දරු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සැමගේ සහාය අවශ්‍ය බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කරයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ තුළ කිසිදු දේශපාලන අරමුණක් නොමැති බව පෙන්වා දුන් ලේකම්වරයා, මෙහි සාර්ථකත්වය උදෙසා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම පළමු ශ්‍රේණිය සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බලන ලදී. එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දක්වන අදහස් පිළිබඳව ද ජනාධිපති ලේකම්වරයාගේ අවධානය යොමු විය. 2026 වසරේ ඉදිරි කාලය සඳහා වන වැඩසටහන් මෙන්ම 2027 වසර සඳහා වන සූදානම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර, මීට පෙර ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමේ වත්මන් තත්ත්වය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා විෂය මාලා සංවර්ධනය, මානව සම්පත් සංවර්ධනය, පරිපාලන ප්‍රතිසංස්කරණ, යටිතල පහසුකම්, ඇගයීම් ක්‍රමවේද සහ මහජනතාව දැනුවත් කිරීම යන අංශ වෙනුවෙන් පත් කර ඇති අනුකමිටුවල ප්‍රගතිය ද මෙහිදී විමසා බලන ලදී. ජාතික, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් මෙම ක්‍රියාවලිය කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා පිහිටුවා ඇති කමිටුවල වත්මන් තත්ත්වය සහ මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මීට අමතරව, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීම වෙනුවෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සකස් කර ඇති තත්ත්ව සහතික කිරීමේ රාමුව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව නියෝජනය කරමින් උසස් නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.














