පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ගෙවනු ලබන මාසික දීමනා සහ වරප්‍රසාද පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළාය. බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.
මන්ත්‍රීවරයකුට හිමිවන රුපියල් 54,285ක මූලික මාසික දීමනාවට අමතරව තවත් දීමනා කිහිපයක් හිමිවන බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ඒ අනුව සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1,000ක් ද, රියැදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ද, දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000ක් ද, ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ද සහ කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000ක් ද හිමිවේ. මීට අමතරව රැස්වීම් සහ කාරක සභා සඳහා සහභාගී වන දිනකට රුපියල් 2,500 බැගින් දීමනාවක් ද හිමිවන බව ඇය පැහැදිලි කළාය.
මන්ත්‍රීවරුන් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සිට ඇති දුර පදනම් කරගෙන ඉන්ධන දීමනාව ගෙවනු ලබන අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සඳහා මාසිකව ඩීසල් ලීටර් 419.76ක ප්‍රමාණයක් අනුමත කර තිබේ. කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරිය, කථානායක, නියෝජ්‍ය කථානායක, සියලුම අමාත්‍යවරුන් සහ විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් තමන්ට හිමි ඉන්ධන දීමනාව ලබා නොගන්නා බව පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලිඛිතව දැනුම් දී ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව මගින් ඔවුන්ට එම ඉන්ධන දීමනාව ගෙවනු නොලබන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.














