පාසල් උත්සව සංවිධානය කිරීමේදී දෙමාපියන් මත මූල්‍යමය බරක් පැටවීම නොකළ යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇය පෙන්වා දුන්නේ, සෑම පාසලකටම අනුමත වාර්ෂික සැලැස්මක් සහ අයවැයක් පවතින බැවින් එම ප්‍රතිපාදනවලින් බැහැරව දෙමාපියන්ගෙන් අමතර මුදල් එකතු කිරීම සිදු නොකළ යුතු බවයි. විශේෂයෙන්ම 2026 වසර අවසන් වීමට පෙර සෑම පාසලකටම ස්මාර්ට් පුවරු (Smart Boards) සහ අන්තර්ජාල පහසුකම් ලබාදීමට රජය කටයුතු යොදා ඇති අතර, එවැනි සංවර්ධන කටයුතු සඳහා ද දෙමාපියන්ගෙන් මුදල් අය නොකළ යුතු බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2027 වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට නියමිත බවයි. පාසල්වල පන්ති කාමරවල ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රාථමික අංශයේ 25-30 දක්වාත්, ද්විතීයික අංශයේ 35 දක්වාත් සීමා කිරීමට සැලසුම් කර ඇති අතර, චක්‍රලේඛවලින් බැහැරව සිසුන් ඇතුළත් කර නොගන්නා ලෙස ද ඇය උපදෙස් දුන්නාය. මීට අමතරව, ගුරු සේවයේ පවතින පුරප්පාඩු 23,000කට අධික ප්‍රමාණයක් පිරවීම සඳහා වන විභාග අප්‍රේල් අග හෝ මැයි මුල පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, පත්වීම් හෝ ස්ථාන මාරුවීම් ලැබුණු පසු දේශපාලන මැදිහත්වීම් අපේක්ෂාවෙන් තොරව අදාළ පාසල්වල සේවයට වාර්තා කිරීම ගුරුවරුන්ගේ වගකීමක් බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.














