සියලු භේදයන් දුරු කරමින්, සහෝදරත්වයෙන් සහ සාමයෙන් පිරි එකම මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීම සඳහා සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අදට (අප්‍රේල් 05) යෙදී ඇති පාස්කු දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ කිසිදු අඳුරු රාත්‍රියක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුවේ අරුණෝදය උදාවන බවත් පාස්කු පණිවිඩය අපට කියා දෙන බවයි. එය ජීවිතය අලුතින් ආරම්භ කිරීමටත්, අත් නොහරින අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාමටත් අපව දිරිමත් කරන බව ඇය පවසා සිටිනවා.
එමෙන්ම, මැදපෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය තත්ත්වය නිසා පීඩා විඳින ජනතාව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, වෛරය සහ ගැටුම් වෙනුවට සාකච්ඡාව සහ අවබෝධය රජයන, යුද බිය පහව ගිය සාමකාමී ලෝකයක් උදාවේවායි මෙම උතුම් දිනයේදී ප්‍රාර්ථනා කර සිටිනවා.














