පාසල් උත්සව සංවිධානය කිරීමේදී දෙමාපියන් මත කිසිදු මූල්‍යමය බරක් නොපැටවිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කලාපවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා ඊයේ (2026 මාර්තු 15) පැවැති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය. 2026 වසර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන පාසල් සංවර්ධන කටයුතු සඳහා නිසි ලෙස පරිහරණය කළ යුතු බවත්, ස්මාර්ට් පුවරු හෝ අන්තර්ජාල පහසුකම් ලබා දීම වැනි කටයුතු සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් ඇය එහිදී පෙන්වා දුන්නාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2027 වසරේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ක්‍රමවේදයන් හඳුන්වා දෙන බවයි. එමෙන්ම පන්ති කාමර කළමනාකරණය යටතේ ප්‍රාථමික අංශයේ පන්තියක සිසුන් 25-30 ක් ද, ද්විතීයික අංශයේ පන්තියක සිසුන් 35 ක් ද වන පරිදි පවත්වා ගැනීමට සැලසුම් කර ඇති අතර, පවතින චක්‍රලේඛවලින් බැහැරව කිසිදු හේතුවක් මත සිසුන් ඇතුළත් කර නොගත යුතු බවට ඇය අවවාද කළාය.
ගුරු සහ විදුහල්පති සේවයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී විශේෂ පැහැදිලි කිරීමක් කළාය. පුරප්පාඩු වී ඇති ගුරු තනතුරු 23,000 ක් සඳහා බඳවා ගැනීමේ විභාග අප්‍රේල් මස අග හෝ මැයි මස මුලදී පැවැත්වීමට නියමිත අතර, විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් දැනටමත් වැටුප් කොමිසමට යෝජනා ඉදිරිපත් කර ඇත. දේශපාලන මැදිහත්වීම් මත කැමති පාසලක් ලබාගත හැකිය යන මිථ්‍යාව බැහැර කළ යුතු බවත්, ලබා දෙන පත්වීම් සහ මාරුවීම් පිළිගෙන අදාළ ස්ථානවල වගකීමෙන් යුතුව රාජකාරි ආරම්භ කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.
පාසල්වල පවතින සනීපාරක්ෂක පහසුකම් සහ යටිතල පහසුකම් නැංවීමට 2025 සහ 2026 වසරවලදී ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. එම මුදල් නිසි ප්‍රමිතියෙන් යුතුව භාවිතා කළ යුතු බවත්, ජාතික ප්‍රතිපත්ති තීරණය වන තෙක් ප්‍රමාද නොවී ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් සිසුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමට නිලධාරීන් කටයුතු කළ යුතු බවත් ඇයගේ අවධාරණය විය.














