කාන්තාවන්ගේ දේශපාලනික, ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් හුදෙක් නීති පොත්වලට හෝ ලේඛනවලට පමණක් සීමා නොවී, රටේ සෑම කාන්තාවකගේම එදිනෙදා ජීවිතය තුළ ප්‍රායෝගිකව අත්විඳිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම රජයේ වගකීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. “සමෘද්ධිමත් රටක අභිමානය – ඇයයි දැයේ ඉදිරි මාවත” යන තේමාව යටතේ මාතර රුහුණ විශ්වවිද්‍යාලයේ රබීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශාලාවේදී ඊයේ (මාර්තු 08) පැවති 2026 ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උළෙලට ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වෙමින් ඇය මේ බව පැවසුවාය.
ඉතිහාසය පුරා කාන්තාවන් සිදුකළ අරගල හේතුවෙන් අද වන විට අධ්‍යාපන සහ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට අවස්ථාව ලැබී ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එම අයිතීන් සුරක්ෂිත කරමින් වඩාත් යහපත් අනාගතයක් කරා යාමට අවශ්‍ය වටපිටාව සැකසීම රජයේ ඉලක්කය බව අවධාරණය කළාය. විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන ප්‍රාදේශීය මට්ටමට පමණක් සීමා නොකර ජාතික ආර්ථිකයේ සක්‍රීය දායකයින් බවට පත්කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද ඇය සඳහන් කළාය.
කාන්තාවන් පවුල වෙනුවෙන් සහ රටේ ආර්ථිකය වෙනුවෙන් සිදුකරන ගෙවන සහ නොගෙවන ශ්‍රමය අගය කිරීම සඳහා “ජාතික රැකවරණ ප්‍රතිපත්තියක්” (National Care Policy) හඳුන්වා දීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. ලෝකයේ පවතින විවිධ අර්බුද හමුවේ මානව හිතවාදීව නැගී සිටීමටත්, සාමය වෙනුවෙන් හඬ නැගීමටත් පෙරමුණ ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය මෙරට කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියාය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, විදේශ රැකියා සඳහා ගොස් රටේ විදේශ විනිමය ශක්තිමත් කරන කාන්තාවන්ගේ දහඩිය සහ කඳුළුවලට නිසි ඇගයීමක් ලැබෙන නව යුගයක් උදාවී ඇති බවයි. ව්‍යවසායිකාවන්, කාන්තා මූලික පවුල් සහ හිංසනයට ලක්වූ කාන්තාවන් වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධ වූ පුළුල් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව ද ඇය පැවසුවාය. මෙම උළෙලේදී දිවයින පුරා විසිරී සිටින සාර්ථක කාන්තා ව්‍යවසායිකාවන් 25 දෙනෙකු වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය අතින් ඇගයීම් සම්මාන පිරිනැමීම ද සිදු විය.













