බ්‍රිතාන්‍යයේ හිටපු වෙළෙඳ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ ඇන්ඩෲ කුමරු (දැනට ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්), එම කාලය තුළ සිය පෞද්ගලික සම්බාහන සේවා (massage services) සඳහා වැය වූ පිරිවැය සහ අධික සංචාරක වියදම් මහජන බදු මුදලින් ගෙවා ඇති බවට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් පිරිසක් හෙළි කර තිබේ. 2001 සහ 2011 අතර කාලයේදී ඔහු මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවක කළ සංචාරවලදී මෙලෙස අක්‍රමවත් ලෙස වියදම් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. එක් නිලධාරියෙකු පවසා ඇත්තේ ඇන්ඩෲ කුමරුගේ ‘සම්බාහන බිල්පත්’ ගෙවීම තමන් ප්‍රතික්ෂේප කළ ද, ඉහළ නිලධාරීන්ගේ බලපෑම මත ඒවා ගෙවීමට සිදුවූ බවයි.
ඔහුගේ නාස්තිකාර වියදම් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් නොතිබූ බවත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඔහුට දැක්වූ අසීමිත ගෞරවය නිසා මෙම වැරදි ප්‍රශ්න කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවූ බවත් එම නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කර ඇත. මේ අතර, පසුගිය බ්‍රහස්පතින්දා ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ව රාජ්‍ය නිලධාරියෙකු ලෙස අයථා ලෙස හැසිරීමේ (misconduct in public office) සැකය මත පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, මේ වන විට ඔහු සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකය. බ්‍රිතාන්‍ය රජය ඔහු ව රාජකීය උරුමයෙන් ඉවත් කිරීම පිළිබඳව ද සලකා බලමින් සිටින බව වාර්තා වේ.














