2023 වසරේදී හැරී කුමරු සහ මේගන් මාර්කල් යුවළට බ්‍රිතාන්‍යයේ පිහිටි ඔවුන්ගේ නිල නිවස වූ ෆ්‍රොග්මෝර් කොටේජ් (Frogmore Cottage) නිවසෙන් ඉවත් වන ලෙස දන්වා සිටීමෙන් පසු, හැරී කුමරු සිය පියා වන චාල්ස් රජුගෙන් අසන ලද ප්‍රබල ප්‍රශ්නයක් පිළිබඳ පුවතක් අද (අප්‍රේල් 07) යළිත් ලෝක අවධානයට ලක්ව තිබේ. ඕමිඩ් ස්කොබි (Omid Scobie) විසින් රචිත ‘Endgame’ කෘතියේ සඳහන් වන මෙම තොරතුරු කරළියට පැමිණ ඇත්තේ, මෙවර ගිම්හානයේදී සෑන්ඩ්‍රින්හැම් (Sandringham) මන්දිරයට පැමිණ සිය පියා සමඟ කාලය ගත කිරීමට හැරී කුමරු කැමැත්තෙන් පසුවන බවට වාර්තා පළවන පසුබිමකය. මෙම ඉවත් කිරීමේ නියෝගය නිකුත් වූයේ හැරී කුමරුගේ මතභේදාත්මක ‘Spare’ කෘතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව වන අතර, මෙය හැරී සහ මේගන් යුවළට එල්ල වූ “අවසාන පහර” ලෙස ද විචාරකයෝ හඳුන්වති.
නිවසෙන් ඉවත් වන ලෙස කළ දැනුම් දීමෙන් පසු, හැරී කුමරු සිය දරුවන් වන ආචී (Archie) සහ ලිලිබට් (Lilibet) ගැන මතක් කරමින් චාල්ස් රජුගෙන් “ඔබට නැවත කිසි දිනක ඔබේ මුණුබුරන්ව දැකීමට අවශ්‍ය නැද්ද?” යනුවෙන් ඉතා සංවේදී ලෙස විමසා ඇති බව ස්කොබි සිය කෘතියේ සඳහන් කරයි. එම අවස්ථාවේදී ඔවුන්ගේ සමීපතමයන් පවසා තිබුණේ, කැලිෆෝනියාවේ තමන්ටම කියා නිවසක් පවතින බැවින් මෙම තීරණයට එරෙහිව සටන් කිරීමට ඔවුන් අදහස් නොකරන බවයි. මෙම පැරණි ප්‍රකාශය යළිත් කතාබහට ලක්ව ඇත්තේ, රජ පවුල තුළ පවතින විරසකය සමනය කර ගැනීමට හැරී කුමරු උත්සාහ කරමින් සිටින බවට පළවන අලුත්ම වාර්තා සමඟිනි. කෙසේ වෙතත්, රජුගෙන් මීට සුබදායී ප්‍රතිචාරයක් ලැබේද යන්න පිළිබඳව මෙතෙක් නිල තොරතුරක් අනාවරණය වී නොමැත.














