ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වෙත ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය පළ කිරීමේ අරමුණින් ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු පිරිසක් අද (09) කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී විශේෂ උද්ඝෝෂණයක නිරත වූහ. සාමාන්‍යයෙන් තානාපති කාර්යාල ඉදිරිපිට විරෝධතා පැවැත්වුවද, මෙම කණ්ඩායම එක්ව සිටියේ එම රටවල ක්‍රියාකලාපයන් අගය කරමින් සිය සහයෝගිතාවය ප්‍රකාශ කිරීමට වීම විශේෂත්වයකි.
මෙහිදී බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඇතුළු නියෝජිත පිරිස විසින් ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙකු වෙත විශේෂ සංදේශයක් ද බාර දෙන ලදී. එම ලිපිය මගින් ඇමරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර වශයෙන් ගනු ලබන තීරණ පිළිබඳව සිය ප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.
වත්මන් ගෝලීය දේශපාලනික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව එම රටවල් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බවත්, ත්‍රස්තවාදය පිටුදැකීමට එම රටවල් ගන්නා උත්සාහයන්ට සහාය දිය යුතු බවත් උද්ඝෝෂණයට එක්වූවෝ ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට ජන සෙත පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටි අතර තානාපති කාර්යාලය අවට ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබුණි.














