පළාත් සභා ඡන්ද විමසීම කුමන ක්‍රමයක් යටතේ පැවැත්විය යුතු ද යන්න තීරණය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වූ අතර එහිදී මැතිවරණ මහලේකම් කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පවතින නීතිමය බාධා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. 2017 අංක 17 දරන පනත මඟින් හඳුන්වා දුන් මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ‘කොට්ඨාස සීමා නිර්ණය’ ක්‍රියාවලිය මෙතෙක් අවසන් වී නොමැති බවත්, එම වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය නොලැබීම සහ සමාලෝචන කමිටු වාර්තාව මෙතෙක් ජනාධිපතිවරයාට භාර නොදීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවත් මැතිවරණ බලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
පවතින බාධා ඉවත් කිරීම සඳහා 2017 සංශෝධන පනත අවලංගු කර, පැරණි මූලික පනත හෙවත් සමානුපාතික ක්‍රමය නැවත බලාත්මක කිරීමේ හැකියාව පවතින බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළ අතර, කාන්තා සහ තරුණ නියෝජනය තහවුරු කිරීම සඳහා අවශ්‍ය නව සංශෝධන එක් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභා සාමාජිකයින් අවධාරණය කළහ. ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා සහ ඒවා නිරාකරණය කරන ආකාරය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් අතර මීළඟ රැස්වීමේදී සීමා නිර්ණ කොමිසමේ නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීමට ද තීරණය විය. වසර ගණනාවක් තිස්සේ ප්‍රමුඛ අවශ්‍යතාවක්ව පවතින පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම රජයේ අපේක්ෂාව වී තිබේ.














