මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට මහජන අදහස් විමසයි
1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මුස්ලිම් නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ උපදේශක කාරක සභාව විසින් මෙම සමාලෝචනය සිදු කරන අතර, එහිදී විවාහ අනිවාර්යයෙන් ලියාපදිංචි කිරීම, විවාහයට පෙර මනාලියගේ කැමැත්ත ලබා ගැනීම තහවුරු කිරීම සහ විවාහ පූර්ව ගිවිසුම් පිළිගැනීම වැනි ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කර ඇත. මීට අමතරව, දික්කසාදයකදී දෑවැදි සහ වෙනත් දේපළ ගනුදෙනු සාධාරණ ලෙස අයකර ගැනීම, විවාහක කාලය තුළ උපයාගත් දේපළ සාධාරණ ලෙස බෙදා හැරීම, දෙපාර්ශවයේම කැමැත්ත මත සිදුවන දික්කසාද පිළිගැනීම සහ දික්කසාද නඩු වලදී දරුවන්ගේ සුභසාධනයට ප්‍රමුඛත්වය ලබා දීම කෙරෙහි ද කාරක සභාවේ අවධානය යොමු වී තිබේ. නඩත්තු ගාස්තු සඳහා නිශ්චිත නිර්ණායක හඳුන්වා දීම සහ ‘මතා’ (Mata’a) වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සැකසීම ද මෙම යෝජිත සංශෝධන අතර වේ.
මෙම ප්‍රතිසංස්කරණ සඳහා වන යෝජනා 2026 මාර්තු මස 01 වනදාට පෙර ඉදිරිපත් කළ යුතු අතර, [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා හෝ “ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස්” යනුවෙන් ලියුම් කවරයේ සඳහන් කර ලේකම්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අංක 19, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 යන ලිපිනයට තැපැල් මඟින් යොමු කළ හැකිය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ඉදිරිපත් කිරීම් කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇත.














