2026 වසරේ දෙවන කාර්තුව සඳහා ක්‍රියාත්මක වන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ නිල නිවේදනය අද (30) පස්වරුවේ නිකුත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි. ඒ අනුව අද පස්වරු 2.00 ට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම නව ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට නියමිතය.
පවතින බලශක්ති අර්බුදය සහ ඉන්ධන මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙම ගාස්තු සංශෝධනය සිදු කෙරෙන අතර, විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සහ මහජන අදහස් විමසීමෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම අවසන් තීරණයට එළඹ තිබේ. මාර්තු මාසය අවසාන වීමත් සමඟ අප්‍රේල් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම නව ගාස්තු ව්‍යුහය ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය කාලසීමාව තුළ ජනතාවගෙන් එල්ල වූ ඉල්ලීම් සහ පිරිවැය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය මත මෙම සංශෝධනය කුමන ආකාරයේ මුහුණුවරක් ගනු ඇත්ද යන්න පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් පසුවෙති.














