පුලියන්කුලම, පරසන්කුලම ප්‍රදේශයේ යුද සමයේදී වළ දමන ලදැයි කියන රත්‍රං සහ පුරාවස්තු සෙවීම සඳහා නීති විරෝධී ලෙස කැණීම් කරමින් සිටි පුද්ගලයන් 10 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකා මාන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී කැණීම් සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක්, කාර් රථයක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 32 සිට 90 දක්වා වූ පිරිමි පුද්ගලයන් 07 දෙනෙකු සහ අවුරුදු 50ත් 76ත් අතර වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු සිටීම විශේෂත්වයකි.
සැකකරුවන් පුලියන්කුලම, බණ්ඩාරගම, නොච්චියාගම සහ බිබිල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් කොළඹ 03 සහ කිරුලපන ප්‍රදේශවල පදිංචිකාරියන් බව හඳුනාගෙන තිබේ. කොළඹ වැනි ප්‍රදේශවල සිට පැමිණි පිරිසක් මෙතරම් දුරබැහැර ස්ථානයක සංවිධානාත්මකව මෙම කැණීම් ආරම්භ කළේ කෙසේද යන්න පිළිබඳව පුලියන්කුලම පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. යුද සමයේ වළ දැමූ බව කියන රන් පිළිබඳව තොරතුරු මොවුන්ට ලැබුණු ආකාරය සහ ඒ පිටුපස සිටින ප්‍රධාන මෙහෙයුම්කරුවන් සෙවීම සඳහා පොලිසිය ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමට ද නියමිතය.














