වසර ගණනාවක් පුරා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දැඩි හිතවතෙකු ලෙස කටයුතු කළ ප්‍රකට නීතිඥ ඉල්යා රෙමස්ලෝ (Ilya Remeslo), හදිසියේම සිය ස්ථාවරය වෙනස් කරමින් ජනාධිපතිවරයාට එරෙහිව දැඩි චෝදනා එල්ල කර තිබේ. සිය ටෙලිග්‍රෑම් (Telegram) අනුගාමිකයන් 90,000කට අධික පිරිසක් වෙත “මම ව්ලැඩිමීර් පුටින්ට සහය දීම නැවැත්වීමට හේතු පහක්” මැයෙන් ලිපියක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ පුටින් පාලනය රුසියාව විනාශය කරා ගෙන යන බවයි.
42 හැවිරිදි රෙමස්ලෝ සිය ප්‍රකාශය මඟින් අවධාරණය කර ඇත්තේ යුක්රේන යුද්ධය අසාර්ථක එකක් බවත්, ඉන් මිලියන සංඛ්‍යාත පිරිසක් මියගොස් රුසියානු ආර්ථිකය අඩාල වී ඇති බවත්ය. “ව්ලැඩිමීර් පුටින් ඉල්ලා අස්විය යුතු අතර ඔහු යුද අපරාධකරුවෙකු ලෙස අධිකරණය හමුවට පැමිණවිය යුතුයි” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ. මීට පෙර රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි ඇතුළු පුටින්ගේ විවේචකයන්ට එරෙහිව නීතිමය මෙන්ම මාධ්‍ය මෙහෙයුම් දියත් කළ අයෙකු මෙලෙස 180°ක හැරීමක් සිදු කිරීම රුසියානු දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කම්පනයක් ඇති කර තිබේ.
මෙම ප්‍රකාශය රෙමස්ලෝගේ පුද්ගලික තීරණයක්ද නැතහොත් ක්‍රෙම්ලීනය විසින් මෙහෙයවන ලද කිසියම් දේශපාලන උපක්‍රමයක්ද යන්න පිළිබඳව විවිධ මත පළ වෙමින් පවතින නමුත්, රෙමස්ලෝ පවසන්නේ තමන් කිසිවෙකුගේ මෙහෙයවීමක් මත මෙය සිදු නොකළ බවයි. රුසියානු ආරක්ෂක අංශවලින් තමන්ට දිගින් දිගටම ඇමතුම් ලැබෙන බවත්, තමන් ඕනෑම නඩු විභාගයකට මුහුණ දීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත. රුසියාව තුළ පුටින්ට එරෙහිව මෙවැනි විවෘත විවේචනයක් එල්ල වීම අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ හඳුන්වති.














