ඉරානය සහ අමෙරිකා-ඊශ්‍රායල හවුල අතර පවතින යුද්ධය හමුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ජාත්‍යන්තර සාම සාධකකරුවෙකුගේ භූමිකාව රඟපෑමට උත්සාහ කරමින් සිටින බව බීබීසී (BBC) රුසියානු සංස්කාරක ස්ටීව් රොසෙන්බර්ග් පෙන්වා දෙයි. යුක්රේනය ආක්‍රමණය කළ නායකයෙකු ලෙස පූටින්ගේ මෙම ‘සාමවාදී’ ප්‍රවේශය විශ්වාස කිරීම අපහසු වුවද මෙම ගැටුම හරහා රුසියාව ප්‍රධාන වාසි කිහිපයක් බලාපොරොත්තු වේ.
රාජ්‍ය තාන්ත්‍රික බලය පෙන්වීම: පූටින් පසුගිය සතියේ දෙවතාවක්ම ඉරාන ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර ඇති අතර පසුගිය සඳුදා ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ද අදහස් හුවමාරු කර ගත්තේය. මැදපෙරදිග කලාපයේ බලපෑමක් කළ හැකි එකම බලවතා රුසියාව බව පෙන්වීමටත් වොෂින්ටනය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් පූටින් මෙය අවස්ථාවක් කරගෙන ඇත.
ට්‍රම්ප් සමඟ පවතින සබඳතාව: ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ව ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පූටින් වැළකී සිටියි. යුක්රේන යුද්ධයේදී රුසියාවට වාසිදායක තත්ත්වයක් ඇති කර ගැනීමට නම් ට්‍රම්ප් පරිපාලනය සමඟ යහපත් සබඳතාවක් පැවැත්වීම අත්‍යවශ්‍ය බව රුසියාවේ විශ්වාසයයි. “පූටින්ට උදව් කිරීමට අවශ්‍ය වී තිබෙනවා” යනුවෙන් ට්‍රම්ප් ද පවසා තිබේ.
තෙල් මිලෙන් ලැබෙන දැවැන්ත ආර්ථික වාසිය: යුද්ධය නිසා ගෝලීය තෙල් මිල ඉහළ යාම රුසියානු රජයේ ආදායම සීඝ්‍රයෙන් ඉහළ නැංවීමට හේතු වී තිබේ. රුසියානු අයවැය සකස් කර ඇත්තේ තෙල් බැරලයක් ඩොලර් 59 මට්ටමේ පවතිනු ඇතැයි යන උපකල්පනය මත වුවද මේ වන විට එය ඩොලර් 120 දක්වා ඉහළ ගොස් ඇත. මෙම අතිරික්ත ලාභය යුක්රේන යුද්ධය සඳහා අරමුදල් සැපයීමට රුසියාවට මහඟු පිටුවහලකි.
සම්බාධක ඉවත් වීමේ බලාපොරොත්තුව: ඉරාන යුද්ධය නිසා ඇති වී තිබෙන තෙල් හිඟය මඟහරවා ගැනීමට ඇතැම් රටවලට පනවා ඇති තෙල් සම්බාධක ලිහිල් කරන බවට ට්‍රම්ප් ඉඟි කර තිබේ. රුසියාවට පනවා ඇති සම්බාධක ද මෙලෙස ලිහිල් වුවහොත් එය රුසියාව ලබන විශාල ජයග්‍රහණයක් වනු ඇත. කෙසේ වෙතත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසන්නේ රුසියාවට සහන දීම යුක්රේනයට එල්ල කරන දරුණු පහරක් වනු ඇති බවයි.
රුසියානු රජය ට්‍රම්ප්ව විවේචනය නොකළද එරට ඇතැම් පුවත්පත් ට්‍රම්ප්ව දැඩි ලෙස විවේචනය කරමින් සිටියි. “සාමයේ ජනාධිපතිට පිස්සු වැදී ඇත” යනුවෙන් ඇතැම් ටැබ්ලොයිඩ් පුවත්පත් වාර්තා කර තිබේ.















