පසුගිය රජය සමයේදී වාර්තා වූ කැපීපෙනෙන සිද්ධියක් වූ තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම සහ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ වංචාව මේ වන විට බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබේ.
ඒ, එවකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැඟවී තිබූ තොරතුරු රැසක් ඊයේ (ජූනි 19) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය විය.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවට ත්, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත්වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට (ජූනි 19) දැනුම් දුන්නා ය.
එම බරපතළ වංචාව සම්බන්ධයෙන් ඔබට ඇති ප්‍රශ්න සහ පිළිතුරු කිහිපයකි.
1. චෝදනා මොනවා ද?
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛන හරහා ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම යන චෝදනා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව එල්ල වී තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව රුපියල් කෝටි 14.5කට ආසන්න මුදලක් වැයකර ජනතාවට ඖෂධ වශයෙන් ලබා දී ඇත්තේ “මරාන්තික බැක්ටීරියා සහිත වතුරත්, නිකන් ම නිකන් ලුණු වතුරත්” යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නා ය.
2. චෝදනා එල්ල වී ඇත්තේ කාට ද?
මෙම නඩුවෙහි ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර ඇත්තේ, අදාළ ඖෂධ සැපයූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මෙම නඩුවෙහි ප්‍රධාන විත්තිකරු ලෙස නම් කර තිබේ.
ඉහත චෝදනාවලට අදාළව විත්තිකරුවන් 12 දෙනෙකු නම් කර තිබේ.
අයිසොලෙස් බයෝටෙක් ෆාර්මා සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක
වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්
ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය
තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත)
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත
වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී සිටී)
සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක (විදේශගත වී සිටී)
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වූ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන
ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර
3. නඩුව ගොනු කළේ කවුද?
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර යන සිවිල් ක්‍රියාකාරීන් දෙදෙනා විසින් මේ පිළිබඳව පැමිණිලි කරන ලදී.
ඔවුන් කළ පැමිණිල්ලට අනුව 2023 ඔක්තෝබර් 13 වන දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ ය.
4. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබා දුන් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධයේ මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු බවට ත්, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත්වල අඩංගු වී ඇත්තේ ලුණු වතුර බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තාවක් මගින් දැනුම් දී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රමට (ජූනි 19) දැනුම් දුන්නා ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ලේඛන පරීක්‍ෂා කර රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ඖෂධ මිල දී ගැනීමට අවසර දුන් බව ත්, මෙම සිද්ධියට කෙහෙළිය රඹුක්වැල්ල සම්පුර්ණයෙන් ම වගකිව යුතු බව ත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම වසරකුත් මාස 08ක කාලයකින් සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරූ බවත් සඳහන් කළා ය.
ව්‍යාජ ලේඛන සකස් කර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලොබියුලීන්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සහ සිවිල් සංවිධාන එකමුතුව’ කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්‍ෂකවරයෙකු අධිකරණයට ඉදිරිපත් කළේ ය.
5. ජර්මානු රසායනාගාරයෙන් ලැබුණු වාර්තාවේ ඇතුළත් වූයේ කුමක් ද?
ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් පැවැත්වූ පරීක්‍ෂණවලින් අනතුරුව 2024 මැයි 06 වන දා අධිකරණයෙන් දුන් නියෝග මත ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලත් ජර්මානු රසායනාගාරයකින් ප්‍රශ්නගත ඖෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරන ලදී.
එම පරීක්‍ෂණ වාර්තාව අනුව පළමු සැකකාර සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමට ලබා දී ඇති ඖෂධවල කිසිදු ඖෂධමය ගුණාත්මකභාවයක් නොමැති බවත්, එම ජර්මානු රසායනාගාරය දැනුම් දී තිබේ.
එම වාර්තාවේ සඳහන් වන්නේ, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් නමැති ඖෂධ වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු ලබා දුන් ද්‍රාවණයේ මාරාන්තික විෂ සහිත බැක්ටීරීයා අඩංගු වන අතර, පිළිකා රෝගීන් සඳහා භාවිත කරන රිටොක්සිමැබ් නමැති ප්‍රතිදේහ එන්නත් වෙනුවට මෙම නඩුවේ පළමු සැකකරු ලබාදුන් ද්‍රාවණයේ අඩංගු වී ඇත්තේ ලුණු වතුර බව ය.
6. අදාළ ඖෂධ මිල දී ගැනීම සිදුවූයේ කෙසේ ද?
මෙම සිදුවීමට මූලික වූ කරුණු 2022 වසර දක්වා දිවයන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
“මේ කතාවේ ආරම්හය සිද්ධ වෙන්නේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වෙනි දා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 182ක් මිල දී ගන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්. ඒක සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිල දී ගන්නයි අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.
“මේ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරන දවසෙ ම සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගයක් එක්ක ඒ ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවන්න සැප්තැම්බර් 27 වෙනි දා වගේ පළ කරනවා. නමුත් බලාපොරොත්තු වුණු විදිහට කැබිනට් මණ්ඩලයේ මේක එදා සම්මත වෙන්නේ නෑ, මොක ද සාකච්ජාවට ගත්තේ නැති නිසා.
මට මතක හැටියට ඔක්තෝබර් තුන් වෙනි දා රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙනවා. ඒ වගේ ම, සැප්තැම්බර් 27 වෙනි දා පබ්ලිෂ් කරපු ටෙන්ඩර් එක ඔක්තෝබර් තුන් වෙනි දා ක්ලෝස් කරලා දවස් කිහිපයක් ඇතුළත ඒවා ඉවැලුවෙට් කරලා අදාළ සමාගම තෝර ගත්තා,” රවී කුමුදේශ් පැවසීය.
7. වංචාව හෙළි වුණේ කොහොම ද?
මෙම වංචාව අනාවරණය වූයේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත කරන ලද සොයා බැලීම් නිසා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, එවකට සෞඛ්‍ය අමාත්‍යංශය තෝරා ගත් සමාගම්වලට පමණක් ඖෂධ ආනයනය කිරීමට අවසර දුන් බව පෙනී ගිය බව ය.
“ඒ නිසා අපි ඒ ගැන හොයා බලන්න පටන් ගත්තා. ඒ සොයා බැලීම්වලදි අපට තේරුණා වංචාවක් සිද්ධ වෙලා තියෙනව කියලා. ඊට පස්සෙ ඒ ඖෂධ නිෂ්පාදනය කළ කියපු ඉන්දියානු සමාගමෙන් විමසීමක් කළා ම ඔවුන් කිව්වා, ඒ වගේ ඖෂධයක් නිෂ්පාදනය කරලවත්, ශ්‍රී ලංකාවට යවලවත් නෑ කියලා. ඊට පස්සෙ වරායෙන් හොයල බැලුව ම ඒ වගේ බෙහෙතක් රටට ගෙනල්ල තිබුණෙත් නෑ,” රවී කුමුදේශ් සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, අදාළ ඖෂධ ශ්‍රී ලංකාව තුළ සකස් කළ බවට සැකයක් පවතින බව ය.
8. සෞඛ්‍ය අමාත්‍යංශයට එන්නත් අලෙවි කළේ කොහොම ද?
ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය නොකළ බව හෙළිවූව ද දේශීය නියෝජිතයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට එන්නත් 3,000කට අධික සංඛ්‍යාවක් ලබා දී තිබූ බව රවී කුමුදේශ් පැවසුවේ ය.
“මේ එන්නත් ඇණවුම 22,500ක්. නමුත් මේ දේශීය නියෝජිතයා අවස්ථා කිහිපයකදී එන්නත් 2500, 300, 150 බැගින් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීලා තියෙනවා. සමස්ත එකතුව ගත්තා ම එන්නත් 3000-4000ත් අතර ප්‍රමාණයක්.”
9. බාල ඖෂධ හේතුවෙන් රෝගීන් කොපමණ සංඛ්‍යාවක් අගතියට පත්වී තිබේ ද?
අදාළ ඖෂධ ලබා දීමෙන් රෝගීන් කොපමණ සංඛ්‍යාවක් අගතියට පත්වූයේ ද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.
රවී කුමුදේශ් පෙන්වා දුන්නේ, අදාළ ඖෂධවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්න මතුවූ විට ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් ඒ බව දැනුම් දිය යුතු වුවත්, එවැනි පියවරක් ගෙන නොමැති බව ය.
ඍජුව අදාළ ඖෂධ හේතුවෙන් රෝගීන් මරණයට පත් නොවන අතර, ඖෂධය ක්‍රියාත්මක නොවීමෙන් හටගන්නා වෙනත් සංකූලතා මත බොහෝවිට රෝගීන් මරණයට පත්විය හැකි හෙයින් අදාළ ඖෂධ හේතුවෙන් රෝගියාට හානියක් වූ බව තහවුරු කිරීම අපහසු නිසා එවැනි රෝගීන් ගැන වාර්තා වීම අඩු බව ද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ, බාල ඖෂධ හේතුවෙන් රෝගීන් 150කට අධික සංඛ්‍යාවක් අන්ධභාවයට පත්වූ බව ය.
10. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ CIDයට පැවසුවේ කුමක් ද?
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් 2025 ජූනි 11 වන දා ප්‍රකාශයක් සටහන් කර ගත්හ.
‘හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය’ යටතේ ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමට අවශ්‍ය බවට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බවත්, ඒ අනුව අදාළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධ සම්පූර්ණ වගකීම විෂය භාර අමාත්‍යවරයා සතු බවත් රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබිණි.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධ බවට පැහැදිලිව ම කරුණු අනාවරණය වූ බවත්, කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ඖෂධ ගෙන්වීමට අවශ්‍ය බව කියමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු අනුව ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දුන් බවත් රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.
11. ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධය යනු කුමක් ද?
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත භාවිත කරනු ලබන්නේ ප්‍රතිදේහ අවම පුද්ගලයින් සඳහා ය.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කරයි.
“මේ එන්නත මනුෂ්‍යයෙකුගේ සිරුරේ ප්‍රතිදේහ මට්ටම පවත්වාගෙන යාමට යොදා ගන්නවා. ස්වභාවික වශයෙන් රුධිර ප්ලාස්මාවල තියෙන ප්‍රෝටීනය සමහර පුද්ගලයින්ගේ සිරුර තුළ නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. කුඩා දරුවන්ගේ ඇතැම් රෝගී තත්ත්වයන් සමග ප්‍රතිදේහ නොමැතිවීම ඇතුළු ඕනෑ ම පුද්ගලයෙකුගේ සිරුරේ ප්‍රතිදේහ මට්ටම අවම වීම නිසා ඇති වන සංකුලතා අඩු කර ගැනීම සඳහා මේ ඖෂධය එන්නතක් විදිහට ලබා දෙනවා, වෛද්‍ය නිර්දේශවලට යටත්ව,” ඔහු පැවසීය.
12. විත්තිකරුවන්ට කුමක් සිදුවෙයි ද?
2023 ඔක්තෝබර් 13 වන දා සිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේ ය.
ඒ අනුව, අවුරුද්දයි මාස 08ක් සහ දින 06ක් තුළ විමර්ශන අවසන් කර සිද්ධියට අදාළ විමර්ශනවල උද්ධෘත පසුගිය පෙබරවාරි 06 වන දා, නීතිපතිවරයාට යොමු කර තිබිණි.
ඒ අනුව, විත්තිකරුවන්ට එරෙහිව පැවරූ නඩුව ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිත ය.
– BBC