මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් අතරමංව සිටින මගීන්ගේ පහසුව උදෙසා විශේෂ සහන ගුවන් වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට කටාර් එයාර්වේස් (Qatar Airways) පියවර ගෙන තිබේ. මෙම විශේෂ මෙහෙයුම් අද (05) සිට ආරම්භ කෙරෙන බව එම ගුවන් සමාගම නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව, ඕමානයේ මස්කට් නුවර සිට ලන්ඩන්, බර්ලින් සහ කෝපන්හේගන් වැනි යුරෝපීය නගර දක්වාත්, සෞදි අරාබියේ රියාද් නගරයේ සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වාත් මෙම සහන ගුවන් වාර ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, කටාර් රාජ්‍යයේ ගුවන් සීමාව තවදුරටත් වසා දමා ඇති බැවින් දෝහා හි හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (Hamad International Airport) සාමාන්‍ය මෙහෙයුම් තවදුරටත් අත්හිටුවා ඇත. ගුවන් සීමාව සුරක්ෂිත බව තහවුරු වන තෙක් දෝහා මෙහෙයුම් ආරම්භ නොකරන බැවින්, නිල දැනුම්දීමක් ලැබෙන තෙක් ගුවන් තොටුපළ වෙත නොපැමිණෙන ලෙස මගීන්ගෙන් ඉල්ලා සිටී.














