කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අවට පදිංචි වැසියන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටාර් බලධාරීන් පියවර ගෙන තිබේ. කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ මෙය “තාවකාලික පූර්ව ආරක්ෂණ පියවරක්” ලෙස ක්‍රියාත්මක කරන බවයි. මෙම හදිසි ඉවත් කිරීම් සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කර නොමැති වුවද, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව රජය අවධාරණය කරයි.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය සහ අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව සිය හමුදාමය මෙහෙයුම් දැඩි කර ඇති පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි. ඉවත් කරන ලද වැසියන් සඳහා සුදුසු නවාතැන් පහසුකම් රජය විසින් සපයනු ලබන බව ද බලධාරීහු ප්‍රකාශ කළහ. අමෙරිකානු ධවල මන්දිරය විසින් ඉරාන ගුවන් සීමාවේ පාලනය නුදුරේදීම අතට ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ, කලාපය තුළ පවතින රාජ්‍යතාන්ත්‍රික මධ්‍යස්ථානවල ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.
මෙම ඉවත් කිරීම් හේතුවෙන් දෝහා අගනුවර වැසියන් අතර යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, කලාපයේ අනෙකුත් රටවල ද අමෙරිකානු දේපළවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ද අද උදෑසන කටාර් ඇතුළු ගල්ෆ් කලාපයේ විදේශ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.












