මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීම සඳහා අද (මාර්තු 15) සිට දිවයින පුරා නැවතත් QR ක්‍රමය (National Fuel Pass) යටතේ පමණක් ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද පස්වරුවේ පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ, පිරවුම්හල්වල පෝලිම් පාලනය කිරීමට සහ QR ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිස් සහාය ලබාගන්නා බවයි.
අද උදෑසන QR පද්ධතියේ යම් තාක්ෂණික දෝෂ පැවතියද, මේ වන විට එම සියලු ගැටලු නිරාකරණය කර ඇති බවත්, සියලුම පිරවුම්හල්වලට ස්කෑන් යන්ත්‍ර මගින් ඉන්ධන නිකුත් කිරීමට උපදෙස් දී ඇති බවත් සභාපතිවරයා පැවසීය. සෑම වාහනයකටම සතියකට අවශ්‍ය ඉන්ධන කෝටාව වෙන් කර ඇති බැවින්, අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටිය යුතු නොවන බවත්, තම කෝටාව ඕනෑම වේලාවක ලබාගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. පෞද්ගලික බස් රථ සඳහා ගමන් මාර්ගයට අදාළ ඉන්ධන ප්‍රමාණය CTB ඩිපෝ හරහා ලබාදීමට ද කටයුතු යොදා ඇත.
QR ක්‍රමයෙන් පිටත ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් හිමියන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවත්, එවැනි ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට පවා කටයුතු කරන බවත් මෙහිදී අනාවරණය විය. ලබන අප්‍රේල් මස අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතින බැවින් පවතින ඉන්ධන තොග පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි. ධීවර සහ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ද නිසි ක්‍රමවේදයක් යටතේ ලබාදීමට සැලසුම් කර තිබේ.














