QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද (15) පෙරවරුවේ සිට දිවයින පුරා සාර්ථකව ආරම්භ කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා නිවේදනය කරයි. අද පෙරවරු 8.00 ත් 9.00 ත් අතර කාලය වන විට දිවයිනේ සියලුම පිරවුම්හල් මෙම පද්ධතියට අනුගත වූ බවත්, ඒ අනුව මේ වන විට QR කේතය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් හෙතෙම සඳහන් කළේය. නව වාහන හිමියන්ට QR කේත ලබා ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව රජය කඩිනමින් මැදිහත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පැවසූ සභාපතිවරයා, පද්ධතිය යාවත්කාලීන කිරීමේදී ඇති වූ ප්‍රමාදය දැන් මගහැරී ඇති බව ද අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීමේදී පිරවුම්හල් හිමියන් සහ පොම්පකරුවන් ඉතා දැඩි නීති රීති අනුගමනය කරන බව හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය. ඒ අනුව කිසිදු හේතුවක් මත කෑන් හෝ බෝතල් සඳහා ඉන්ධන නිකුත් නොකරන බවත්, පාරිභෝගිකයන් තමන්ගේම වාහනයෙන් පැමිණ අදාළ QR කේතය ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පැවසීය. වෙනත් අයෙකුගේ QR කේතයක් රැගෙන වෙනත් වාහනයකින් පැමිණියහොත් පද්ධතිය මගින් වාහනය හඳුනාගත හැකි බැවින් එවැනි අවස්ථාවලදී ඉන්ධන නිකුත් නොකිරීමට පිරවුම්හල් සේවකයන්ට උපදෙස් දී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය. එබැවින් අනවශ්‍ය අපහසුතාවලින් වැළකීම සඳහා තමන්ගේ වාහනයෙන්ම පැමිණ ඉන්ධන ලබා ගන්නා ලෙස ඔහු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.














