හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ආර්. දුමින්ද සිල්වා මහතා රුපියල් මිලියන 15ක අල්ලස් සිද්ධියකට අදාළව සැකකරුවෙකු ලෙස නම් කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අද (03) අධිකරණයට දැනුම් දුන්නේය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “දෙමටගොඩ රුවන්” නමැත්තාට ඇප ලබාගැනීම සඳහා රුපියල් මිලියන 5ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් මොහොමඩ් මොහිදීන් සප්රාස් නවාස් නැමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොමිසම මෙම කරුණු අනාවරණය කළේය. මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ දුමින්ද සිල්වා මහතා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාව සිටි සමයේ ඔහුගේ දැනුවත්භාවය මත බවත්, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු දැනට මියගොස් ඇති බවත් මෙහිදී හෙළි විය.
අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේ දෙමටගොඩ රුවන්ගේ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට සහ ඔහුට ඇප ලබාදීමට පහසුකම් සැලසීම සඳහා රුවන්ගේ පුත්‍රයා වන තරිඳුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවයි. පැමිණිලිකාර තරිඳු නැමැත්තාට දුමින්ද සිල්වා මහතා විසින් අදාළ සැකකරු හමුවී අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස උපදෙස් දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළ අතර, අත්අඩංගුවට ගෙන සිටි සැකකරු මාර්තු 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මීට පෙර තර්ජන හේතුවෙන් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තිබුණද, නැවත ආරම්භ කළ විමර්ශන මගින් මෙම තොරතුරු හෙළි වී ඇති අතර සිද්ධියට සම්බන්ධ බව කියන නීතිඥවරයෙකුගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.














