ඉන්දියාව සහ ඇමරිකාව අතර ඇති කරගත් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දැඩි ලෙස විවේචනය කරමින් ලොක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා අද (20) විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු මෙම ගිවිසුම සහ ඉන්දීය රජයේ ක්‍රියාකලාපය පැහැදිලි කිරීමට ‘ජියු-ජිට්සු’ (Jiu-jitsu) සටන් කලාවේ එන උපායශීලී සංකල්ප උපමාවට ගෙන තිබේ.
ජියු-ජිට්සු සටන් කලාවේදී ප්‍රතිවාදියෙකු පාලනය කිරීමට යොදාගන්නා ‘ග්‍රහණයන්’ (Grips) සහ බෙල්ලෙන් හිර කිරීම් (Chokes) පිළිබඳව පැහැදිලි කළ රාහුල් ගාන්ධි, අගමැති මෝදි ද මහජනතාවට නොපෙනෙන එවැනිම දේශපාලනික ග්‍රහණයක සහ හිර කිරීමක සිරවී සිටින බව ප්‍රකාශ කළේය. මෙම වෙළෙඳ ගිවිසුම හරහා ඉන්දියාවේ දත්ත (Data), කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අනතුරේ හෙළීමට හේතුව මෙම “ගුප්ත ග්‍රහණයන්” බව ඔහු පෙන්වා දෙයි.
ඉන්දියාව වැනි රටක් සිය දත්ත ස්වෛරීභාවය සහ කෘෂිකාර්මික අයිතීන් ඇමරිකාව හමුවේ පාවා දෙන්නේ ඇයිද යන්නට පිළිතුර පවතින්නේ මෙම දේශපාලනික ‘ග්‍රහණය’ තුළ බව රාහුල් ගාන්ධි මහතා සිය සමාජ මාධ්‍ය වීඩියෝවක් හරහා ප්‍රකාශ කර ඇත.
මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ පසුගියදා ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඔහු කළ විවේචනය තවදුරටත් පැහැදිලි කරමිනි. අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු පරිපාලනයේ අවශ්‍යතා මත මෙලෙස කටයුතු කරමින් සිටින බවට ද ඔහු මෙහිදී චෝදනා කළේය.














