දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස විනාශයට පත් වූ අඹේපුස්ස සහ අලව්ව අතර පිහිටි බුජ්ජොමුව පාලම ස්ථිර ලෙස සවි කිරීමේ කටයුතු ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ හේතුවෙන් එළඹෙන අප්‍රේල් මස 01 වනදා සිට 05 වනදා දක්වා එම කොටස තුළ දුම්රිය ධාවනය එක් මාර්ගයකට (Single Line) පමණක් සීමා කරන බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී.ඩී.ඒ. සමරසිංහ මහතා නිවේදනය කළේය.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මෙමගින් යම් බලපෑමක් එල්ල විය හැකි අතර, විශේෂයෙන්ම කාර්යබහුල වේලාවන්හිදී දුම්රිය ප්‍රමාදයන් සිදුවීමට ඉඩ ඇති බව දුම්රිය සේවය පෙන්වා දෙයි. සුළි කුණාටුවෙන් පසුව තාවකාලිකව පිළිසකර කර තිබූ මෙම පාලම, උත්සව සමයට පෙර ස්ථිරව සවිකර අවසන් කිරීම මගින් මගී ආරක්ෂාව සහ ධාවන වේගය ඉහළ නැංවීමට බලධාරීන් අපේක්ෂා කරයි.
මෙම කාලසීමාව තුළ දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, මගීන් තම ගමන්වාර සැලසුම් කිරීමේදී මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.














