හැරී පොටර් චිත්‍රපට මාලාවේ වොල්ඩමෝට් (Voldemort) ලෙස අමතක නොවන රංගනයක නිරත වූ ප්‍රවීණ බ්‍රිතාන්‍ය නළු රැල්ෆ් ෆීන්ස්, තමා යළිත් එම චරිතය නිරූපණය කිරීමට කැමැත්තෙන් පසුවන නමුත් දැන් ඒ සඳහා ඇති අවස්ථාව මගහැරී ගොස් ඇති බව පවසයි. 2005 වසරේ සිට 2011 දක්වා හැරී පොටර් මුල් චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ටයා ලෙස ඔහු කටයුතු කළේය. මේ වන විට HBO නාලිකාව හරහා හැරී පොටර් කතා මාලාව ඇසුරින් නව ටෙලි වෘත්තාන්තයක් නිෂ්පාදනය වෙමින් පවතින පසුබිමක ඔහු මෙම අදහස් පළ කර තිබේ.
බීබීසී නාලිකාවේ පැවැති වැඩසටහනකට එක්වෙමින් රැල්ෆ් ෆීන්ස් සඳහන් කළේ, මීට වසර කිහිපයකට පෙර තමාගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී තමා ඊට කැමැත්ත පළ කළ ද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. එම නිසා වොල්ඩමෝට් ලෙස තමා යළි පැමිණීමේ බලාපොරොත්තුව දැන් අත්හැර දමා ඇති බව ඔහු ඉඟි කළේය. HBO ආයතනය තවමත් නව කතා මාලාව සඳහා වොල්ඩමෝට්ගේ චරිතයට නළුවෙකු තෝරාගෙන නොමැති බව මීට පෙර තහවුරු කර තිබුණි.
නව කතා මාලාවේ වොල්ඩමෝට්ගේ චරිතය සඳහා ටිල්ඩා ස්වින්ටන් (Tilda Swinton) හෝ කිලියන් මර්ෆි (Cillian Murphy) වැනි නළු නිළියන් තෝරාගනු ඇති බවට විවිධ කටකතා පැතිර ගියද, කිලියන් මර්ෆි ඒ පිළිබඳව පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. ටිල්ඩා ස්වින්ටන් මෙම චරිතය සඳහා තෝරාගනු ලැබුවහොත් ඇය එය ඉතා විශිෂ්ට ලෙස ඉටු කරනු ඇති බව රැල්ෆ් ෆීන්ස් වැඩිදුරටත් කියා සිටියේය. නව හැරී පොටර් ටෙලි කතා මාලාවේ හැරී පොටර් ලෙස ස්කොට්ලන්ත ජාතික නළු ඩොමිනික් මැක්ලොක්ලින් (Dominic McLaughlin) රංගනයෙන් දායක වීමට නියමිතය.














