විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මර්දනයට ‘රාම එකා’ ජාතික මෙහෙයුම තවදුරටත් ශක්තිමත් කෙරේ
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ‘රාම එකා’ ජාතික මෙහෙයුම් සභාව අද (18) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග කඩිනමින් විනාශ කිරීම සඳහා පවතින නීති රීති කඩිනමින් සංශෝධනය කළ යුතු බවයි. මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මහජනතාව තුළ මෙන්ම මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන් ඒ මහතා, ඒ සඳහා දැනට පත් කර ඇති විශේෂ කමිටුව සමඟ සාකච්ඡා කර අදාළ නීති සම්පාදන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.
2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ ‘රාම එකා’ මෙහෙයුමේ මෙතෙක් ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර මේ දක්වා පුද්ගලයින් 124,412ක් අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය විය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග අතර ගංජා කිලෝග්‍රෑම් 4,520ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 1,066ක්, අයිස් කිලෝග්‍රෑම් 1,930ක් සහ මත්පෙති 983,143ක් ඇතුළත් වේ. විශේෂයෙන්ම මෙහිදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 270ක ප්‍රමාණය මෙරට ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් තොගය ලෙස වාර්තා වේ. මීට අමතරව 1818 විශේෂ දුරකථන අංකය ඔස්සේ මහජනතාවගෙන් ලැබෙන තොරතුරු මෙහෙයුම් සාර්ථක කරගැනීමට විශාල පිටුවහලක් වී ඇති බව ද මෙහිදී සඳහන් විය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රධාන උපක්‍රම හයක් යටතේ විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර තරුණයින්, ළමයින් සහ ගර්භණී කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ පුනරුත්ථාපන වැඩසටහන් ද ඊට ඇතුළත් වේ. පවතින පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමාසහිත වීම සහ නීතිමය බාධා ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට පළාත් මට්ටමින් විශේෂ අධිකරණ සහ පොලිස් නීති අංශ ස්ථාපනය කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම ජාතික මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිකොන්තා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පිරිසක් සහභාගී වී සිටියහ.














