ශ්‍රී ලංකාවාසී මුස්ලිම් ජනතාවගේ පූජනීය රාමසාන් උපවාස මාසය අද (19) සිට ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කළේය. ඊයේ (18) සන්ධ්‍යාවේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් නව අඩ සඳ දර්ශනය වූ බවට ලැබුණු හිලාල් උප කමිටු වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ. සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව, කොළඹ මහ පල්ලිය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙම නිල ප්‍රකාශය සිදු කරන ලදී.
ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ නවවන මාසය වන රාමසාන්, ලොව පුරා මුස්ලිම් බැතිමතුන්ගේ පංච මහා වගකීම්වලින් එකක් වන උපවාසයෙහි නිරත වන ඉතා වැදගත් කාල පරිච්ඡේදයකි. මෙම මාසය පුරා බැතිමතුන් අලුයම සිට හිරු බැස යන තෙක් ආහාර පානවලින් වැළකී ආගමික වතාවත්වල නිරත වෙමින් අධ්‍යාත්මික පවිත්‍රතාවය සහ පරිත්‍යාගය ප්‍රගුණ කරනු ලබයි. මෙය මුස්ලිම් ජනතාවට ඉමහත් ශාන්තිදායක සහ පූජනීය මාසයක් ලෙස සැලකේ.













