දෙස් විදෙස් සංචාරකයන්ට නවතම ත්‍රාසජනක විනෝදාංශයක් හඳුන්වා දෙමින් කොත්මලේ, රම්බොඩ පිහිටි බ්ලූෆීල්ඩ් තේ වතුයායේ “බ්ලූෆීල්ඩ් මෙගා ෂිප් ලයින්” (Blue Field Mega Ship Line) නමින් සිප් ලයින් (Zip line) ක්‍රීඩාවක් පසුගියදා ආරම්භ කරන ලදී. තේ වතු පරිශ්‍රයට ඉහළින් මීටර් 355ක දුරක් ආවරණය වන පරිදි සවිකර ඇති ආරක්ෂිත කේබලයක ආධාරයෙන් ගමන් කිරීමට මෙහිදී අවස්ථාව සැලසේ.
බ්ලූෆීල්ඩ් තේ වතුයායේ සභාපති මොහොමඩ් නසාර් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද මෙම නවතම විනෝද අංගය, රම්බොඩ ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන්ට සොබාදහමේ සිරිය විඳිමින් ත්‍රාසජනක අත්දැකීමක් ලැබීමට කදිම අවස්ථාවක් වනු ඇත. මධ්‍යම කඳුකරයේ සංචාරක ආකර්ෂණය වැඩිකිරීම සඳහා මෙවැනි නව නිර්මාණාත්මක ව්‍යාපෘති ඉවහල් වනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පවසති.














