දිට්වා සුළි කුණාටුවෙන් පසුව සිදුවූ නායයෑම් සහ පස්කඳු කඩා වැටීම් හේතුවෙන් දැඩි හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ කඩුගන්නාව අතර කොටස යළි ධාවනයට සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවෙමින් පවතී.
අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ගයේ ස්ථාන 70ක් පමණ අවහිර වී තිබූ අතර, දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ ඉන් ස්ථාන 66ක අවහිරතා මේ වන විටත් ඉවත් කර ඇති බවයි. කෙසේ වෙතත්, ඉතිරිව ඇති ස්ථාන 4ක දුම්රිය මාර්ගය මුළුමනින්ම පස් සහ ගල් කඩාවැටී බරපතළ ලෙස අවහිර වී ඇති බැවින් එම ස්ථාන පිළිසකර කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර තිබේ.
ලබන අප්‍රේල් මාසය වන විට එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර රඹුක්කන සහ කඩුගන්නාව අතර දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම බලධාරීන්ගේ ඉලක්කය වී ඇත.















