එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානයේ ලකුණ ඇතුළු මතුව තිබෙන මුලික ගැටළු විසඳා ගැනීම සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බව වාර්තා වෙයි.
මෙම කමිටුවේ සාමාජිකයන් වන්නේ සජිත් ප්‍රේමදාස, අඛිල විරාජ් කාරියවසම්, රන්ජිත් මද්දුම බණ්ඩාර, ජෝන් අමරතුංග, මංගල සමරවීර, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, නවින් දිසානායක, කබීර් හෂීම් හා මලික් සමරවික්‍රම ය.
ඊයේ (12) රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම කමිටුව නම් කර ඇත.
අදාළ කමිටුව සඳහා සාමාජිකයන් තෝරාගෙන ඇත්තේ රනිල් පාර්ශ්වයෙන් නම් 05ක් සජිත් පාර්ශවයෙන් නම් 05ක් වශයෙනි.
හෙට දිනයේදී එනම් 14 වනදා මෙම කමිටුව අවසන් තීරණයක් ගැනීමට දෙපාර්ශවය එකඟව ඇති අතර 14 වනදාට පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද කල්දමා ඇති බවත් වාර්තාවෙයි.
ලකුණේ ප්රශ්නය රනිල් පහදයි
රනිල් – සජිත් හමුවේදී ජන්ද ලකුණ ප්රශ්නය සම්බන්ධව බැරෑරුම් ලෙස සාකච්ඡා කෙරුණු බවත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එම ආරංචිමාර්ග උපුටා දක්වමින් අප දේශපාලන වාර්තාකරු පවසන්නේ 2015 මහ මැතිවරණය සඳහා අද සන්ධානගතව සිටින සියලු පාර්ශව ඉදිරිපත් වුයේ අලියා ලකුණින් බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙම සාකච්ඡාවේදී පෙන්වාදී ඇති බවය.
එබැවින් මෙවරත් වෙනත් ලකුණු අනවශ්‍ය බවත් පක්ෂ නායක රනිල්ගේ ස්ථාවරය වී තිබේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂද මෙවර මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතවීමට පැමිණියහොත් මෙම ජන්ද ලකුණ වෙනස් කල යුතු බවට වාදයක් නොමැති බවත් ඔහු පෙන්වාදී ඇතැයිද වාර්තා වෙයි.
අලියා ලකුණ සන්ධානයට දෙන්න – රන්ජිත් මද්දුමබණ්ඩාර
මේ අතර ඊයේ (12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රන්ජිත් මද්දුම බණ්ඩාර පවසා ඇත්තේ තම සන්ධානය අලියා ලකුණට විරුද්ධ නැති බවය. එසේම එක්සත් ජාතික පක්ෂයටධ විරුද්ධ නැති බවත් තම පියා මෙන්ම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ පියාත් මැතිවරණයට ඉදිරිපත්වුයේ අලියා ලකුණින් බවත් එහිදී ඔහු සිහිපත් කර ඇත.
එබැවින් අලියා ලකුණ සන්ධානය සඳහා ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටින බවත් ඔහු පවසා තිබේ.