8 September 2024
#දේශීය #පුවත්

රනිල් තව අවුරුදු 12 ක් බලයේ ඉන්න ඕන .. ගාල්ලේ දන්සල්වලට මන්ත්‍රී වජිර සහල් බෙදයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය ඉදිරියේදීත් මෙය වෙනස් නොකර අවුරුදු 12 ක් පමණ තිබිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ වෙසක් උත්සවය නිමිත්තෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පවත්වන වෙසක් කලාප සහ දන්සැල් සඳහා අද (22) ගාල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මූල්‍යාධාර හා සහල් බෙදාදීම අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වසර දෙකකදී මේ රටේ තිබුණු අවාසනාවන්ත තත්ත්වය වෙනස් කරලා රට හරි මගට ගෙනඑන්න නායකත්වය ලබාදුන්නා. උදාහරණයක් විදිහට බැලුවොත්, අපේ රටේ සිටි සෑම නායකයෙක්ම අවුරුදු 10 ක් ඇතැම් අය අවුරුදු 12 ක් මේ රට පාලනය කරලා තිබෙනවා. ඒ සියලුදෙනාගෙන් වුණු අඩුපාඩු ඔවුන් කාටවත් දොස් කියන්නේ නැතිව බාරගෙන ඒ වැරදි නිවැරදි කරමින් ජාතිය ගොඩනගමින් සිටිනවා. බංකොලොත් වූ රට වසර දෙකක් ඇතුළතදී දැන් නිදහස් කරමින් තිබෙනවා. සම්පූර්ණයෙන්ම රටබංකොලොත්භාවයෙන් මුදවා ගැනීම මම විශ්වාස කරනවා, ජුනි මාසය වනවිට අවසන් කරගන්න පුලුවන් වෙයි කියලා. දැන් අපි මේ සමරන්නේ වෙසක් සතියයි. ඇත්තවශයෙන්ම පසුගිය සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ රටේ ජනතාව අප්‍රේල් මාසය අවසන් වනතෙක්ම සැමරුවා. මේ වනවිට වෙසක් උත්සවයත් ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරන්න අපේ රට ජනතාව පෙළගැසෙමින් සිටිනවා. අද තත්ත්වය මෙහෙම වුණත් පසුගිය කාලය තුළ කිසිඳු ආගමික උත්සවයක් අපේ රට තුළ සමරන්න බැරිව තිබුණා. නමුත් අපේ රට අද මෙවැනි තත්ත්වයකට ගෙනඑන්න හැකිවුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගෙන ඒ සිදුකළ ප්‍රතිසංස්කරණ නිසා බව ඔබ මතක තබාගත යුතුයි. ඒ නිසා මෙයට කෘතගුණ දැක්වීමක් ලෙස මුළු මහත් ජාතියේම ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට හිමිවිය යුතුයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කඩා වැටුණු රට බාරගෙන මුළු මහත් ලෝකයක් සමගම සාකච්ඡා කරමින් නැවත හරි මගට යොමුකරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මුළු මහත් ලෝකයේම අවධානය ශ්‍රී ලංකාව දෙසට හරවගන්න එතුමාට පුළුවන් වුණා. ඒ එතුමාගේ අවුරුදු 50 ක දේශපාලන අත්දැකීම් සහ පළපුරුද්ද නිසායි. කොහොම හරි එතුමා මේ ගත්ත පියවර නිසා එහි වාසිය අද භූක්ති විඳින්නේ අපේ රටේ සමස්ථ මහජනතාවයි. ඉදිරියේදීත් මෙය වෙනස් නොකර අවුරුදු 12 ක් පමණ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට පාලනය කළ යුතුයි කියලයි මා විශ්වාස කරන්නේ. මොකද මේ යන මාර්ගය යම් හෙයකින් කවුරුන් හෝ වෙනස් කළහොත් නැවත අපේ රට තිබුණු තැනටත් වඩා අසීරු තත්ත්වයකට ගමන් කිරීමට හැකි නිසයි. මේ අතරේ සමාජයේ මහජන මතයක් ගොඩනැගෙමින් තිබෙනවා, සියලුදෙනා එකතුවෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආරක්ෂා කළ යුතුයි කියලා.

අද ඇතැම් දේශපාලන පක්ෂවල නායකයින් සහ සාමාජිකයින් අවුරුදු 75 ක සාපයක් ගැන කතා කරනවා. මම හිතන්නේ මේ සාපයට හවුල් නොවූ කිසිඳු දේශපාලන පක්ෂයක් නැහැ. ඇතැම් දේශපාලන පක්ෂ මේ සාපයට රටේ දේපොළ විනාශකර සම්බන්ධවෙලා තිබෙනවා. එහෙමත් නැතිනම් වෙනත් පක්ෂ පාලන බලයට ගෙනඑන්න හවුල්වෙලා මෙයට සම්බන්ධවෙලා තිබෙනවා. එසේනම් මේ සියලුදේශපාලන පක්ෂවල තිබුණු අසාර්ථකභාවයන් වගේම ජාත්‍යන්තර දේශපාලනයත් සමඟ ගලපලා බලනවිට එහෙමත් නැතිනම් ආසියාවේ දේශපාලනයත් සමග ගලපලා බලනවිට අපේ රටේ සිටි සෑම නායකයෙක්ටම සම්මානයක් දෙන්න ඕන. මොකද ආසියාවේ රටවල් සමග මේ මට්ටමට හෝ අපේ රට රැකගෙන තිබීම නිසා. මෙය ලෙහෙසි පහසු ක්‍රියාවක් නොවෙයි. මොකද ආසියාවේ කුඩා දූපතක් වුණු ශ්‍රී ලංකාවට තිබුණු ආසියානු බලපෑම සහ ජාත්‍යන්තර බලපෑම දිහා බැලුවම ඒ ජාත්‍යන්තර බලපෑම් සියල්ලටම හසුවෙමින් සියලු නායකයින් මේ රට ආරක්ෂා කිරීමට කැපවෙලා තිබෙනවා. ඒ නිසා මේ සෑම නායකයෙක්ගෙම තිබුණු හොඳ, හොඳ හැටියට දැකිය යුතුයි කියන එකයිඅපේ විශ්වාසය වෙන්නේ. ඒ වගේම පසුගිය කාලය තුළ මන් දැක්කා රූපවාහිනිය තුළත්, සමාජ මාධ්‍ය තුළත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනඑන අණපනත් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙනවා. විශේෂයෙන්ම ඇතැම් දේශපාලන නායකයින් මේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථෘවේ තිබෙන 27, 28, 29 වෙනි වගන්තිවල සඳහන් වන කාරණා වගවීමක් නැති තත්ත්වයක් තිබෙනවා. ඒ කියන්නේ ඕනෑම දේශපාලනඥයෙකුට ඕනෑම බොරුවක් ප්‍රකාශ කරන්න පුලුවන්. එය ඉටුකළත් ඉටු නොකළත් කිසිම අධිකරණයක් ලවා ඉටු කරවාගත නොහැකියි. දැන් එවැනි පරිසරයක් තිබෙන නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව බැලුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩුලුහුඩුකම්වලින් පැනලා යන්න හදන දේශපාලන පක්ෂවලට එසේ පැනයාමට නොහැකිවන පරිදි ජාතික ප්‍රතිපත්ති රාමුවකට හසුකරගන්න. ඒ වගේම මුදල් ප්‍රතිපත්තිවල සඳහන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151, 152 වගන්ති ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මුදල්වලට වගකිව යුතු දේශපාලන පක්ෂ බවට පරිවර්තනය කිරීමට මෙම පනත් හරහා ක්‍රියා කරමින් තිබෙනවා. එය ලෝකයේ රටවල් පවා සිදුකර තිබෙනවා. ශ්‍රී ලංකාවත් එය කළ යුතුව තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *