හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය (University of Wolverhampton) විසින් සිදු කරන ලද ආරාධනය නිල මට්ටමේ එකක් බව බ්‍රිතාන්‍යයේ තොරතුරු දැනගැනීමේ පනත (FOI) යටතේ කළ විමසීමකදී අනාවරණය වී තිබේ. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීමේ උත්සවය වෙනුවෙන් 2023 වසරේදී මෙම ආරාධනය සිදු කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා එවකට දැරූ “ශ්‍රී ලංකාවේ ජනාධිපති” යන නිල තත්ත්වය සලකා බැලීමෙන් පසුව බව එම විශ්වවිද්‍යාලය පවසයි.
සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම විශ්වවිද්‍යාලයේ තොරතුරු අයිතිවාසිකම් කළමනාකාරිනිය මේ බව තහවුරු කර ඇත. 2023 සැප්තැම්බර් 22 වන දින පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හරහා මෙම ආරාධනය යොමු කර තිබේ. විශ්වවිද්‍යාලයේ කුලපති ලෝඩ් ස්වරාජ් පෝල් වෙනුවෙන් එවකට උපකුලපතිවරයා විසින් මෙම නිල ලිපිය නිකුත් කර ඇති බවත්, ඒ සම්බන්ධ සියලු ලිපිලේඛන මුදා හැරීමට විශ්වවිද්‍යාලය තීරණය කර ඇති බවත් වාර්තා වේ.














