හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශල්‍යකර්මය සඳහා සිංගප්පූරුව තෝරා ගැනීමට හේතුවූයේ ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා මානසික පීඩනයට ලක් කිරීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. කොළඹදී ශල්‍යකර්මයක් සඳහා ඉදිරිපත් වුවහොත් රහස් පොලිසිය සහ රජය කුමන ආකාරයකින් හැසිරෙයිද යන්න පිළිබඳව බලවත් සැකයක් පැවති බවත්, එවැනි අවිනිශ්චිත දේශපාලන වාතාවරණයක් හමුවේ ගත යුතු හොඳම තීරණය විදේශ රටකදී ප්‍රතිකාර ලබා ගැනීම බවත් ඔහු පෙන්වා දුන්නේය.
වසර 76ක කාලය තුළ ශ්‍රී ලංකාව ඉතා දක්ෂ වෛද්‍යවරුන් සහ උසස් නිදහස් සෞඛ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමට සමත් වුවද, යහපත් ආණ්ඩුකරණයක් සහිත රාජ්‍යයක් බිහිකිරීමට අසමත් වී ඇති බව වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. විදේශ රටකදී ප්‍රතිකාර ගැනීම මගින් වෛද්‍යවරුන්ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමට සිදු නොවන අතර අනවශ්‍ය මැදිහත්වීම්වලින් තොරව ආරක්ෂිතව ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.













