ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්වාධීන රටවල අභ්‍යන්තර පාලනයන් වෙනස් කිරීමට දරන උත්සාහය ලෝක ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවත්, ඒ පිළිබඳව වර්තමාන රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඊයේ (01) කොළඹදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
කිසියම් රටක පාලනයක් වෙනස් විය යුත්තේ එම රටේ ජනතාවගේ කැමැත්තෙන් මිස බාහිර රටක මැදිහත්වීමෙන් නොවන බව ඔහු අවධාරණය කළේය. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරාන නායකත්වය විනාශ කිරීම පිළිගත් ජාත්‍යන්තර සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක් බවත්, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය වැනි රටවල් පවා මෙම ක්‍රියාව හෙළා දැක ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙවැනි ආක්‍රමණශීලී පිළිවෙත් අනාගතයේදී වෙනත් රටවලට ද බලපෑ හැකි බැවින් ශ්‍රී ලංකාව වැනි රටවල් ලෝක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිය යුතු බව වික්‍රමසිංහ මහතා පැවසීය. මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව තුළ වහාම ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩක් නොමැති වුවද, පවතින තොග නිසි ලෙස කළමනාකරණය කරගැනීම රජයේ වගකීමක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














