ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ හි පැවැත්වෙන ලෝකප්‍රකට ආර්නෝල්ඩ් ක්‍රීඩා උළෙලේ (Arnold Sports Festival) වසර 37ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට ප්‍රථම රන් පදක්කම දිනා දීමට සුපිරි ශක්ති ඔසවන්නෙකු වන රන්සිලු ජයතිලක අද (07) සමත් විය. කිලෝග්‍රෑම් 120 ‘ප්‍රෝ’ (120KG Pro) කාණ්ඩය යටතේ තරග වැදුණු රන්සිලු, එහි ඩෙඩ්ලිෆ්ට් (Deadlift) ඉසව්වෙන් කිලෝග්‍රෑම් 320ක බරක් එසවීමට සමත් වීම විශේෂත්වයකි.
හිටපු හොලිවුඩ් නළු ආර්නෝල්ඩ් ස්වාට්සෙනෙගර් විසින් ආරම්භ කරන ලද මෙම දැවැන්ත ක්‍රීඩා උළෙල සඳහා ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20,000කට අධික පිරිසක් සහභාගී වන අතර, එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රන් පදක්කමක් දිනූ පළමු ක්‍රීඩකයා ලෙස රන්සිලු සිය නම ඉතිහාසයට එක් කළේය. මැදපෙරදිග පවතින අවාසනාවන්ත යුද වාතාවරණය මධ්‍යයේ වුවද, ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් ශ්‍රී ලංකාවට මෙවැනි ගෞරවයක් අත්කර දීම ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබේ.














